නිලවරණයක් නොමැති කායවර්ධන ඒකාධිපතිත්වය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශී‍්‍ර ලංකා කායවර්ධන සම්මේලනයේ මේ වනවිට අර්බුධයක් පැන නැගී තිබේ. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා නීතියට අනුව සහ එ් එ් සංගම්වල ව්‍යවස්ථාවලට අනුව සියලූම ක‍්‍රීඩා සංගම්වල නිලධාරීහු කටයුතු කළ යුතු වුවත් වත්මන් කායවර්ධන සම්මේලනයේ සභාපති කිත්සිරි ප‍්‍රනාන්දු ඔහුගේ අභිමතය පරිදි සියලූ කටයුතු සිදුකරමින් සිටින බවට ලේකම්වරයා විසින් කී‍්‍රඩා අමාත්‍යංශයට පැමිණිලි කිරීම හේතුවෙන්ය.

මීට අමතරව මේ වන විටත් කායවර්ධන සම්මේලනයේ නීත්‍යානුකූල ධුර කාලය අවසන්ව වී තිබේ. එහෙත් ඉකුත් වසරකට වැඩි කාලයක් තුළ කායවර්ධන නිලවරණය පැවැත්වීමට නොහැකි විය. එයට හේතු බවට පත්ව ඇත්තේ වත්මන් කායවර්ධන සම්මේලන සභාපතිවරයා ක‍්‍රීඩා ඇමැතිගේ නියෝග සහ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරයාගේ නියෝගවලට අභියෝග කරමින් තීන්දු තීරණ ගැනීමය. උද්ගතවී ඇති මෙම තත්ත්වය පිළිබඳව කායවර්ධන සම්මේලනයේ ලේකම් නිහාල් වීරතුංග මහතාගෙන් විමසීමක් කරන ලදී. 


කායවර්ධන සම්මේලනය අවුල් ජාලාවක පැටලිලා කියලා වාර්තා වෙනවා. මොකද්ද මේ කට හේතුව?

යම් කිසි ආයතනයක හෝ සම්මේලනයක හෝ යම් කිසි පුද්ගලයෙක් හෝ පිරිසක් එහි නීති රෙගුලාසිවලට හෝ ව්‍යවස්ථාවට පටහැනිව හිතුමතේ වැඩ කරනවානම් අනිවාර්යයෙන් එහි ලෙකු අවුලක් සිද්ධ වෙනවා. කායවර්ධන සම්මේලනයට මේ වෙද්දී වෙලා තියෙන්නෙත් ඒකම තමයි. සම්මේලනයේ වගකිව යුතු පුද්ගලයෝ ව්‍යවස්ථාවට පිටින් වැඩ කරනවා. මොකද ව්‍යවස්ථාවක් හදන්නේ කී‍්‍රඩා අමාත්‍යංශයේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නීතිප‍්‍රකාරව. අපිට ඒකට පිටින් වැඩ කරන්න කිසිම අවස්ථාවක බැහැ. ඒත් සභාපතිවරයා වැඩ කරන්නේ ව්‍යවස්ථානුකූලව නෙමෙයි.

කායවර්ධන සම්මේලනයේ නිලවරණය පවත්වන්න බැරි වත්මන් පරිපාලන පිරිසගේ කඹ ඇදිල්ල නිසාද?

ඔව්. ඒකට හේතුව අර මම මුලින් කිව්ව දේ තමයි. සභාපතිවරයා ව්‍යවස්ථාවට අනුව වැඩ කරන්නේ නැහැ. පසුගිය 2017 ඔක්තෝම්බර් 21 වැනිදා සංශෝධනය කරපු කී‍්‍රඩා පනතේ නව වගන්තිය අනුව නිලවරණයේදී මෙතෙක් ඡුන්ද ලාභීන් වෙලා හිටපු කී‍්‍රඩා සමාජ වෙනුවට දිස්ති‍්‍රක් සංගම්වලට එම අවස්ථාව උදාවෙනවා. ඒ නිසා නිලවරණයට කලින් දිස්ති‍්‍රක් සංගම් පිහිටුවන්න ඕනේ. දිස්ති‍්‍රක්ක 25ක් තියෙනවා. ඒ කියන්නේ දිස්ති‍්‍රක් සංගම් 25ක් පිහිටුවන්නම වෙනවා. දිස්ති‍්‍රක් සංගමයක් ස්ථාපිත කිරීම සඳහා අවම වශයෙන් කී‍්‍රඩා සමාජ දෙකකවත් සාමාජිකත්වයක් තියෙන්න ඕනේ. එහෙත් සභාපතිවරයා ව්‍යවස්ථාවට පටහැනිව කි‍්‍රයා කරන නිසා තමයි නිලවරණය මේ දක්වා කල් ගිහින් තියෙන්නේ.

ලේකම්වරයා වශයෙන් තීරණ ගැනීමේදී ඔබේ ක‍්‍රමවේදය මොනවගේද?

මම නිතරම තීරණ අරන් වැඩ කරන්නේ ව්‍යවස්ථානුකූලව. අපේ විධායක සභාවක් තියෙනවා. සභාවේ එක ගතාව මත තමයි මම වැඩ කරන්නේ. ලේකම්වරයා වශයෙන් මට තනි තීරණ ගන්න බැහැ.

මේ වනවිට සම්මෙලනයේ නීත්‍යානුකූල ධුර කාලය අවසන් වෙලා වසරකට වැඩියි. නිලවරණය පවත්වන්න තවත් කොච්චර කාලයක් අවශ්‍යද?

කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මික මුතුමාල මහතා ව්‍යවස්ථානුකූලව තීරණයක් ගත්තා සම්මේලනය අත්හිටුවන්න. එතුමා විශේෂ සාකච්ඡුාවක් පවත්වලා කිව්වා සම්මේලනයේ ඉදිරි නිලවරණයට අදාලව දිස්ති‍්‍රක් සංගම් ස්ථාපිත කිරීම ඉදිරි මාස කිහිපයේදී නිමාවට පත්කරන්න කියලා.

දිස්ති‍්‍රක් සංගම් පිහිටුවා අවසන්වීමට තව කොපමණ කාලයක් ගතවෙයිද?

එය ඉතා ඉක්මනින් සිදුකරනවා. කී‍්‍රඩා සමාජ වලට අපි ආරාධනා කරනවා ඉක්මනින් සම්මෙලනයේ ලියපදිංචි වෙන්න කියලා. ඒ එක්කම ලියාපදිංචිවීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා නැති අයට ඒ සුදුසුකම් සපුරාගන්නත් අපි උදව් කරනවා.

මොනවද අවශ්‍ය සුදුසුකම්?

කායවර්ධන මධ්‍යස්ථානයේ පුහුණුකරු සුදුසුකම් ලත් පුහුණුකරුවෙක් විය යුතුයි. ඒ වගේම ව්‍යායාම සඳහා අවශ්‍ය සියලූම උපකරණ තිබිය යුතුයි. ඒ එක්කම ඒ ස්ථානයේ ඉඩ ප‍්‍රමාණය , වාතාශ‍්‍රය ලැබෙන ආකාරය පිළිබඳව අපි හොයලා බලනවා.

මීළග නිලවරණයට ඔබ ඉදිරිපත්ාවනවාද, ඒ කුමන තනතුර සඳහාද?

මම 2016දී කායවර්ධන සම්මෙලනයේ ලේකම් හැටියට පත්වෙද්දි මෙහි නීති රෙගුලාසි පිළිබඳව කිසිදෙයක් දැනගෙන හිටියේ නැහැ. මට මේ තනතුර ලොකු අභියෝගයක් වුණා. මට ඕනේ තනතුරු නෙමෙයි. මේ ප‍්‍රශ්න නිරාකරණය කරලා සම්මේලනය පිරිසිදු තැනක් බවට පත්කරන්න. මේ දක්වා මම කැපවීම් කළේ ඒ වෙනුවෙන්.

කසුන් රණවීර

MirrorGames.lk © 2019

Search