මනුෂ්‍යත්වයෙන් ඉපදුණු ලෝකයේ ළාබාලම ක්‍රිකට් නායකයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අද අප ගෙවමින් සිටිනා ධනවාදයේ තුන්වැනි කාර්තුවේ දී රුපියල් සතවලින් මැනිය හැකි වටිනාකමක් නැති ලෙස සටහන් කොට පැත්තකට විසි කර දැමූ එකම දෙය මනුස්සකමය. එහෙත් සැබවින්ම රුපියල් සතවලින් මිල කළ නොහැකි එකම දෙය ද මනුස්සකමය. මිලක් නැති නිසාම මනුස්සකම වඳ වී යන්නට විය. එහෙත් සැබෑ වටිනාකම දන්නා මිනිසුන් වඳ වී නොගිය බැවින් මනුස්සකම කොතැනක යන්තමින් හෝ දර්ශනය වූයේ ද එය අගය කරන්නෝ ද වූහ.

පසුගිය දෙසැම්බර් 26 වැනි දා ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සම නායකත්වය දැරූ ආර්චි ශෙලර් ගැන නොදන්නා කෙනෙක් නැත. එහෙත් මේ සටහන තබන්නේ ආර්චි ගැන කියන්නට හෝ ඒ සමඟ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ‘දැන් හොඳයි‘ කියන්නට හෝ නොවේය. මේ සිදු වීම අභ්‍යන්තරයේ තිබූ කලාතුරකින් දකින්නට ලැබෙන මනුස්සකම ගැන කියන්නටය.

ආර්චි ශෙලර් මෙලොව එළිය දකින්නේ අදින් වසර හතකට ඉහතදීය. බොහෝ මවුපියන් තම දරුවන්ගේ උපත සමඟ ප්‍රීතියෙන් පිනා යන නමුදු ආර්චිගේ මවුපියන්ට ආර්චිගේ උපත සතුටක් වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් වේදනාවෙන් පීඩිත වී ගියේ ආර්චි උපතේ සිටම දක්නට ලැබෙන හදවත් රෝගයකට උරුමකම් කියමින්ම මෙලොව එළිය දුටු නිසාය.

උපත ලබා තුන් මසක් ගත වූ තැන ආර්චිට සිය ප්‍රථම හදවත් සැත්කමට මුහුණ දීමට සිදු වූයේය. එතැන් සිට ගතව ගිය වසර හත තුළ ඔහු මුහුණ දුන් සම්පූර්ණ හදවත් සැත්කම් ප්‍රමාණය 13ක් විය. එහෙත් ආර්චිගේ ජීවිතය තවමත් අවිනිශ්චිතය. ඒ හදවත් රෝගවල හැටිය. උපතින් ඇති වන අැතැම් හදවත් රෝග සඳහා මේ තරම් දියුණු තාක්ෂණයක් සහිත ලෝකයේ ප්‍රතිකාර ඇත්තේ නැත. එසේ නම් කිනම් මොහොතක හෝ ආර්චිගෙන් තොර ලෝකයක් ගැන හිත හදාගත යුතුය.

තම සමීපතමයෙකු එක් වරම මිය යෑම එක් දෙයකි. එහෙත් කොයි මොහොතක හෝ ඔහු මිය යෑමට ඉඩ ඇතැයි දැන දැන ජීවිතය ඉදිරියට ගෙන යෑම අතිශයින් අපහසුය. ආර්චි ශෙලර්ගේ මවුපියන්ට කනගාටුවෙන් වුව ද තෝරාගැනීමට සිදු වූයේ මේ දෙවැනි තේරීමය. එහෙත් ඒ අතර වුව ද කළ හැකි දේ තිබේ. තම ආදරණීය දරුවා හැකිතාක් සතුටෙන් තැබීම, ඔහුගේ සිහින සැබෑ කිරීමට කළ හැකි හැම දෙයම කිරීම ඒ අතරින් ප්‍රධානය. ඉතින් ආර්චිගේ මවුපියෝ තමන්ට කළ හැකි සෑම දෙයම කිරීමට වෙර දැරූහ.

බහ තෝරන වයසේ සිටම කුඩා ආර්චිගේ සිත් ගත් දෙයක් විය. ඒ ක්‍රිකට් ක්‍රීඩාවය. නිරෝගී දරුවකු නොවූ ඔහුට පාසල මඟ හැරී තිබිණි. එ හේතුවෙන් මිතුරෝ ද නොසිටියහ. තරමක් තේරෙන වයයේ දී ආර්චි කීවේ ‘ලොකු වූ විට තමා කෙදිනක හෝ ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වන බවය‘.

ඔහු ලොකු මිනිසකු වන තෙක් ජීවත් විය හැකි වේද යන්න අවිනිශ්චිත බව ඔහුගේ මවුපියන් ඔහුට පැවසුවේ නැත. ඒ වෙනුවට ඒ තරම්ම අවිනිශ්චිත වන ක්‍රිකට් නායකකම ඔහුට ලබාදීමට ක්‍රමයක් ඇති දැයි ඔවුහු සෙවූහ. සැබවින්ම මේ සිහිනය සැබෑ කරගත හොත් ආර්චිට තමා ‘ලොකු මිනිසකු වූ බව‘ හැඟෙනු ඇත. තමා ජීවත් වීමෙන් උපයාගැනීමට බලාපොරොත්තු වූ සියල්ල ලබාගත්තා යැයි හැඟීමක් ඔහු තුළ ඇති වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. ඒ අනුව ඔවුහු තම අරමුණ කරා ගමන් ගන්නට වූහ.

මේ කතාව ආරම්භයේ දී පැවසු පරිදිම ධනවාදයේ තුන්වැනි කාර්තුව යනු ක්‍රීඩාව ද මිල මුදලින් මනින, ක්‍රීඩාව යනු මුදල් ඉපයීමේ තවත් එක් පහසු මාර්ගයක් බවට පත්ව ඇති, ඒ සමගම ක්‍රීඩාවේ මූලික අරමුණු අමතකව ගිය අන්ධභූත යුගයක් බව යළිත් සිහිපත් කර දිය යුතු වේ. ජාතික කණ්ඩායමේ නායකත්වය කෙසේ වෙතත් පාසල් කණ්ඩායමක නායකත්වය ලබාගැනීම වෙනුවෙන් කළ යුතු කැපකිරීම්, දිය යුතු පිදේනි ගැන අමුතුවෙන් මෙහි සටහන් කළ යුතු නොවේ. ඒ බැවින් ගමන දුරය.

මිනිසුන්ගේ සැබෑ කරගත නොහැකි සිහින වෙනුවෙන් පෙනී සිටින නොයෙක් සංවිධාන ද තවමත් පවතී. ඕස්ට්‍රෙලියාවේ Make a Wish පදනම ද එවැනි එකකි. එබැවින් ඔවුහු ආර්චිගේ මවුපියන්ට සහාය දැක්වීමට ඉදිරිපත් වූහ. ඉන්පසු මේ පිරිස තම අදහස ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්හ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ද ඒ සඳහා විරුද්ධත්වයක් නොදැක්වූ බැවින් නොසිතූ තරම් ඉක්මනින් ආර්චි ශෙලර්ට ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය එක් දිනක් සඳහා දැරීමේ අවස්ථාව උදා විය.

ඒ දිනය ලෙස සටහන් වූයේ 2018 දෙසැම්බර් 26 වැනි දාය. ප්‍රතිවාදීන් වූයේ ඉන්දියා කණ්ඩායමය. ආර්චිගේ සිරුරේ මිමි අනුව ඕස්ට්‍රේලියා කණ්ඩායමේ නිල කබාය සහ සෙසු ක්‍රීඩා ඇඳුම් මැසෙන්නට විය. පෙර පුහුණුවීම් සඳහා ආර්චිට ආරාධනා ලැබිණි. මේ සියල්ල ආර්චිට අනුව නම් සිහින පෝලිමකි.

තරගයට සහභාගී වීම සඳහා මෙල්බර්න් වෙත පැමිණීමට ශෙලර් පවුලට සිදු විය. ආර්චි මින් පෙර මෙල්බර්න් පැමිණියේ රෝහල්ගත වී සැත්කම්වලට මුහුණ දීමටය. එබැවින් මෙල්බර්න් පැමිණීම ඔහුට පුදුමයක් වූයේ නැත. පුදුමය නම් රෝහල්ගත නොවීමය. ඒ වෙනුවට තම සිහිනයේ ජීවත් වීමට ලැබීමය.

තරගය ආරම්භ වීමට පෙර සිටම මාධ්‍ය අවධානය ආර්චි වෙත යොමු වූයේ මින් පෙර ක්‍රිකට් පිටියේ මෙවැනි සිදුවීමක් නොදුටු නිසාය. ආර්චි සමග වචන කිහිපයක් කතා කිරීමට සමත් වූ මධ්‍යවේදීන්ට ඔහු පැවසූවේ තමා හොඳින් ක්‍රීඩා කරමින් ඉන්දියා නායක විරාත් කෝලි දවා ගැනීමට බලාපොරොත්තු වන බවය. ආර්චිගේ මේ සහභාගීත්වය ඉත සිතින් ඉවසීමට එකඟව සිටි ඉන්දියා කණ්ඩායමේ නායක කෝලි මේ සඳහා ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ ආර්චිගේ කැමැත්ත එය නම් තම කඩුල්ල ඔහුට පූජා කිරීමට තමන් සතුටු බවයි.

දෙසැම්බර් 26 වැනි දින උදෑසන සිටම ක්‍රිකට් ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ගොස් තිබිණි. කාසියේ වාසිය උරගෑම සඳහා දෙපිලේම නායකයෝ පිටියට පැමිණියහ. ඒ සමඟ කුඩා ආර්චි ද ඉතා ආඩම්බරයෙන් ඇවිද ආවේ ඕස්ට්‍රේලියා පිලේ සම නායකයා ලෙසිනි. කාසියේ වාසිය උරගෑමෙන් පසු තම කණ්ඩායමට පැවසීමට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදීන් ඇසූ පැනයට පිළිතුරු දෙමින් ආර්චි පැවසුවේ ‘හයේ ඒවා ගහන්න, විකට් ගන්න‘ යනුවෙනි. එය සැබෑ කෙටි එහෙත් අති සාර්ථක උපදෙසකි.

සුදු පැහැ ඇඳුමින් සැරසී ක්‍රීඩාගාරයේ සිටිය ද ක්‍රීඩා පිටියට ගොස් ක්‍රීඩා කිරීමට තරම් සෞඛ්‍ය සම්පන්න බවක් ආර්චිට තිබුණේ නැත. එහෙත් ඔහුගේ සිත පිරී ගොස් තිබිණි.

‘ඔහු මෙතරම් හිනා වෙනවා මම කවදාවත් දැකලා නැහැ‘ ආර්චිගේ මව එසේ පැවසුවාය. ඇය ද එම දිනය පුරා තම දුක අමතක කර දැමුවාය. ‘දැන් හැමදාම එයා නිදියන්නේ එදා පැලඳි කොළ පැහැ තොප්පිය තුරුලු කරගෙන. අපි ඉඩ දෙනවා නම් එදා ඇඳපු කබාය තුරුලු කරගෙනයි ඔහු නිදියන්නේ‘ පසුව ශෙලර් මහත්මිය මාධ්‍යයට එසේ පැවසුවාය.

දෙසැම්බර් 26 වැනි දා මෙල්බර්න් පිටියේ තරගය එසේ පැවතියේය. ඉන්දියාව සමඟ පැවති තුන්වැනි ටෙස්ට් තරගය වූ එම තරගයේ ආධිපත්‍ය මේ වන විට ඉන්දියා කණ්ඩායම සතු කරගෙන සිටින බව වාර්තා වෙයි. එහෙත් මනුස්සකම අනුව නම් මේ කණ්ඩායම් දෙකම දිනුම්ය.

ආර්ච් ශෙලර් යනු ද අන් සෑම මිනිස් දරුවකු ලෙසම බලාපොරොත්තු පොදි බැඳගත් කුඩාවෙක්ය. ජීවිතය ඔහුට අසාධාරණයක් සිදු කළ ද ඔහු ඊට වගකිව යුතු නැත. එහෙත් බලාපොරොත්තු සුන්ව වසර සියයක් ජීවත් වුව ද එය නොවටී. ඒ වෙනුවට බලාපොරොත්තු ඉෂ්ටව සතුටු සිතින් එක් දිනක් ජීවත්ව මිය යෑමට ලැබෙන්නේ නම් ජීවිතය ඇත්තේ එතැනය.

මේ සිදුවීම සම්පූර්ණ මාධ්‍ය සන්දර්ශනයක් බවට කතාවක් ද පැතිර යයි. තම හැසිරීම හේතුවෙන් සමාජ අපවාදයට ලක්ව සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයට පෙර සුදු හුනු ගාගැනීම වෙනුවෙන් මේ සන්දර්ශනය පැවැත්වූ බව කියැවෙයි. වර්තමාන ලෝකයේ බෙලි කැපෙන මාර්කටිං හොඳින් දැන පුරුදු අප මේ කියමන එක්වරම බැහැර කරන්නේ නැත. ඒ අතරම ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවට බලු මවිල් එක් කළ කණ්ඩායම බව ද සටහන් කර තබමු.

ක්‍රීඩාවේ නිරත වන අතරතුර ප්‍රතිවාදින්ගේ මානසිකත්වය බිඳ වැට්ටවීම වෙනුවෙන් ඔවුන් පහත් හඬින් පවසන නින්දා අවලාද කෙතෙක්දැයි දන්නේ ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් ඉදිරියේ කඩුල්ලේ රැඳී සිටි ක්‍රීඩකයෝය.

ක්‍රීඩා කුසලතාව පමණක් නොව, යටි ගේම් ද කුසලානය ලබාගන්නා දක්ෂයා තීරණය කරන මෙවන් අවධියක මෙය ඔවුන්ගේ එජෙන්ඩාවේ එක් කොටසක් වීමට වුව ද බැරිකමක් නැත. එහෙත් වැඩිහරියක් අනුකම්පාව මත රැඳී සිටිමින් කඳුළු මතින් හොඳ නම ගෙන කුසලානය දිනාගැනීමට වැඩි ඉඩක් ඇති හොඳ මිනිසුන් ලෙස ලෝකයට මුහුණක් මවා පෑමෙන් ඔවුන්ට ලැබෙනා අමතර වාසිය කුමක්දැයි යළිත් සිතා බැලිය යුතුය. තරගයක් පැවැත්වෙන අවස්ථාවක කුමන පදනමක දී වුව ද ඕනෑම රටක සමස්ත ජනතාවම හුරේ දමන්නේ එම රට නියෝජනය කරන කණ්ඩායමටය. එකේ දෙකක් නැත. ඒ අනුව ඕස්ට්‍රේලියානුවන්ට ලොව හොඳම කණ්ඩායම ඔවුන්ය.

96 ලෝක කුසලානයේ දී ඉන්දියාව සමඟ අපේ රටේ කණ්ඩායම මුහුණ දුන් තරගයෙන් ශ්‍රී ලංකාව ජය ලබද්දී පිටියට බෝතල්වලින් දමා ගැසුවේ ඉන්දියා ප්‍රේක්ෂකයන්මය. එබැවින් හුනු ගා ගත්ත ද නැත ද ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ප්‍රේක්ෂකයන්ගේ හෝ උද්දාමයෙන් කෑ ගසන්නන්ගේ අඩුවක් නැත. එසේ නම් හදවත් රෝගී කුඩා දරුවකු සමඟ මේ දැරූ වෑයම ඔවුන්ගේ ගිණුමට අලුත් අගයක් ගෙන එනවා නම් ඒ ඉතා අල්ප වශයෙන්ය.

අනෙක් අතට ඕනෑම මිතුරකුගේ හෝ සතුරකුගේ වුව ද යහපත් ක්‍රියාවක් දකින්නේ නම් එය අගය කිරීමට තරම් නිහතමානී මනසක් සැම සතු වන්නේ නම් ලෝකයම වඩා යහපත් තැනක් වනු නොඅනුමානය. එදා කල්කටාවේ ඊඩ්න් ගාඩ්න් පිටියට බෝතල් වැටෙද්දී 'we are sorry, congratulation Sri lanka' යනුවෙන් සටහන් වූ පුවරුවක් ඔසවාගෙන සිටියේ ද ඉන්දියානුවෙක්මය.

ලොව පුරාම සමහර විට ඕස්ට්‍රේලියාවේම තවත් මෙවන් රෝගී දරුවෝ ලක්ෂ ගණනින් සිටිති. එක් දරුවකු වෙනුවෙන් මේ සැලකිලි විහිළුවක් බවටත් වන ප්‍රතිචාර ද දැකගත හැකි විය. එය එසේය. එය හරියටම කියන්නේ නම් ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් කණ්ඩායමට තේරීමේ බලාපොරොත්තු සහිත ක්‍රීඩකයන් ලක්ෂ ගණනක් සිටින නමුදු එකොළොස් දෙනෙකුට පමණක් කණ්ඩායමේ වරම් ලැබෙන්නා මෙන්ය. එහෙත් ආර්චිගේ මේ සහභාගීත්වය ඕස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරා මෙවන් පොඩිත්තන්ගේ මෙන්ම ඔවුන්ගේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉහළ නංවන සජීව උදාහරණයක් වන බව නම් සටහන් කළ යුතු වෙයි.

දරු දුක දන්නේ දරුවන් ලද්දෝය. ඒ දුක හා සමාන තවත් දුකක් නැත. දැන් ඕස්ට්‍රේලියාවේ පුංචි ආර්චිට තම ජීවිත කාලයම ගත කර අවසන්ය වැනි හැඟීමක් දැනෙනු ඇත. තවත් මාස තුනකින් ඔහුට තවත් සැත්කමක් කිරීමට නියමිතය. සිහිසුන්ව එම අවසථාවට මුහුණ දෙන ආර්චිට එහි වේදනාව නොදැනෙනු ඇත. එහෙත් එය 14 වැනි වතාවටත් ඔහුගේ මවුපියන් දැඩි දේ රිදවනු නොඅනුමානය. එහෙත් පෙර මෙන් නොව මෙවර ඔහුගේ මවුපියන් සතුටින් එයට මුහුණ දෙනු ඇත. ඒ මන්ද යත් ආර්චි යළි තම දෙනෙත් විවර නොකළ ද ඔහු ජීවත් වූ කෙටි කාලය තුළ තම බලාපොරොත්තු ඉෂ්ට කරගත් බැවිනි.

ආර්චිගේ කතාව එසේය. එහෙත් එයම හදවතේ දරාගනිමින් තවත් ආර්චි වැනි තවත් දරුවකුගේ සිහින සැබෑ කරන්නට අපට කළ හැකි උපරිමය කළ හැකි නම් ලෝකය කොතරම් සුන්දර තැනක් වනු ඇතිද?

ටිරෝනි වෑවලගේ

MirrorGames.lk © 2019

Search