මල්ලවපොර ක්‍රීඩාව කාන්තාවන්ට අභියෝගයක් නොවෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ලොව ඉපැරණිතම ක්‍රිඩාවක් ලෙස සැලැකෙන මල්ලවපොර ක්‍රිඩාවෙන් මේ වසරේදී ජාතික ශූරතාව දිනාගනිමින් ජයකෙහෙළි නන්වන්නට ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා මල්ලවපොර කණ්ඩායම සමත්ව සිටී. 2011 වසරේ සිට මේ දක්වා අඛණ්ඩවම එම ජයග්‍රහණයට හිමිකම් කියන්නේ ඔවුන්ය. ඔහුන්ට අභියෝගයක් දීමට 16 වසරක් කිසිවෙකු සමත්ව නැත.

“1969 වසරෙදී මුලින්ම ගුවන් හමුදාවට මල්ලවපොර ක්‍රීඩාව හදුන්වා දී තිබෙනවා. මේ වසරට වසර 50ක් පිරෙනවා. මේ පනස් වසරකට ආසන්න කාලයක් පුරා අප විශාල ගමනක් පැමිණ සිටිනවා. ලෝකයේ ඉපැරණිතම ක්‍රීඩා අතර ක්‍රීඩාවක් වන මල්ලවපොර ක්‍රීඩාව 1896 දි මුල්ම ඔලිම්පික් ක්‍රීඩා උලෙළට ද ඇතුළු වුණා.“ අතීත පිය සටහන් තබමින් අප සමග එසේ සංවාදට මුල පිරුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලවපොර ක්‍රීඩා සංචිතයේ වත්මන් සභාපති එයාර්වයිස් මාෂල් ප්‍රියන්ත වීරසිංහ මහතායි.

ඔබ සභාපති හැටියට පසුගිය ජයග්‍රහණ පිලිබඳ තෘප්තිමත් ද?

ඉතා හොඳ වර්ධනයක් තිබෙනවා. 18 දෙනෙකුගෙන් යුතු කාන්තා සංචිතය වගේම 20 දෙනෙකුගෙන් යුතු පිරිමි සංචිතයද අද වන විට ජාතික තලයේ සමාජිකයන්ගෙන් සමන්විතයි. එයම ඇති අප ආ ගමනට සාක්ෂි ලෙස. ඇමෙරිකාවේ සංවිධානය වු තරගාවලියක් ඇතුළු ජාත්‍යන්තර තරගාවලි ගණනාවක් අපි පසුගිය වසර 49 පුරා නියෝජනය කර තිබෙනවා. ඒ වගේම ආරක්ෂක සේවා හා ජාතික තරගාවලි ගණනාවක් අපි තරග කොට තිබෙනවා. ඒ හැම තරගාවලියකින්ම කිසියම් හෝ ජයග්‍රහණයක් දිනාගැනීමට ශුවන් හමුදා කාන්තා හා පිරිමි කණ්ඩායම් සමත්වුණා. දකුණු ආසියා මෙන්ම සාෆ් තරගාවලියෙදී ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වු ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණ වලට හිමිකම් කීවා. අපගේ දක්ෂතා වර්ධනයේ හොඳ අවස්ථාවක් සාෆ් තරගාවලිය. එහිදි කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදාවෙන් එක්වු සාමාජිකාවන් පස්දෙනාම පදක්කම් ජයග්‍රහණය කලා.

වර්තමානයේ මල්ලවපොර ක්‍රිඩා සම්මේලනයේ උප සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කරන හා ගුවන් හමුදා මල්ලවපොර ක්‍රිඩා සංගමයේ වත්මන් ලේඛම් ගෘප් කැප්ටන් එරන්දික ගුනවර්ධන මහතා ද මෙම සාකච්ඡාව එක් වුයේ එසේ පවසමින්ය. 2001 වසරේදී තමයි මම මුලින්ම ගුවන් හමුදා මල්ලවපොර කණ්ඩායමට එක්වන්නේ එතකොට අද පවතින තත්ත්වය තිබුණේ නෑ කෙසේ හෝ අප ක්‍රීඩකයන්ගේ කැපවීමෙන් හා උනන්දුවෙන් අපට හොඳ ගමනක් ඒමට හැකි වුණා.

ගුවන් හමුදා භට නිවස්න තුළ පුහුණු වීම් කරමින් අඩු පහසුකම් තුළ අපි අපගේ ගමනේ යෙදුනා. ඒ වගේම ජයග්‍රහණත් හිමිකරගත්තා. අප ලැබූ ජයග්‍රහණත් සමග එවකට සිටි ගුවන් හමුදාපතිවරුන් අපට අවශ්‍ය දේ ලබාදීමට කටයුතු කළා. නිල අදුම්, පවාහාන්, මෙන්ම පුහුණු කරුවන්ද ලබාදීමට කටයුතු කළා. ඒ වකවානුවේදී තමයි මම හොඳම මල්ලවපොර ක්‍රීඩකයා විමේ අවස්ථාව හිමි කරගත්තේ. පසුව මම කණ්ඩායම් නායකත්වය ද දැරුවා. යන් ලක්වුණා එම නිසා පුහුණුව ලබන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම මෙම ක්‍රීඩාවට අලුතින් එක්වන ක්‍රිඩක ක්‍රිඩිකාවටන්ට ද එය විශාල උත්තේජනයක් උණා. ඒ අනුව ක්‍රීඩාවේ වර්ධනය දෙගුණයකින් පමණ වර්ධනය කරගැනීමට හැකි වුණා. අද අප පැමිණ තිබෙන්නේ අවම පහසුකම් වල සිට ඉහළම පහසුකම් දක්වා වු ගමනක්. නමුත් මා පවසන්නේ නෑ මෙය උපරිමය කියා. තව තවත් මල්ලවපොර ක්‍රීඩාවේ වර්ධනයට අන්තර්ජාතික දැනුම ලබා ගනිමින් වර්ධනය කරගත යුතුයි. ලෝක මට්ටමේ ජයග්‍රහණ දක්වා අප යා යුතුයි. එය කල හැකි මෙන්ම කළයුතු දෙයක්.

ගුවන් හමුදාවට මෙන්ම ත්‍රිවිධ හමුදාවට ස්වෙච්ඡා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේ බඳවාගත්තේ. ඒ ක්‍රමවේදය මේ වන විට වෙනසකට බඳුන් වෙලාද?

නෑ එහි කිසිම වෙනසක් වෙලා නෑ. නමුත් ක්‍රමවේදය නවීකරණය කර තිබෙනවා. ඒ කියන්නේ ස්වේච්ඡා සෙළෙකු ලෙස හෝ නිත්‍ය සෙබළෙකු වශයෙන් ගුවන් හමුදාවට ඕනෑම ක්‍රීඩකයෙකුට එක් විය හැක නමුත් මීට පෙර තිබූ ක්‍රමවේදය වෙනස් දක්ෂයන් තොරාගෙන ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය වර්ධනය උදෙසා වසරක හෝ වසර දෙකක කොන්තරාත් පදනම මත සේවයේ පිහිටුවාලමින් තමයි ඔවුන් ක්‍රීඩා කළේ. නමුත් ගුවන් හමුදාපති වරයා එය වෙනසකට බඳුන් කර තිබෙනවා. අනිවාර්යෙන් නිත්‍ය හමුදා පුහුණුවක් සැම ක්‍රීඩකයෙකුම දැරිය යුතු වනවා. ඉන්පසුව ත්‍රිවිධ හමුදාව යටතේ ජාතික හෝ අන්තර්ජාතික සංචිත වලට එක් විමට හැකියාව ලබාදී තිබෙනයවා.

මල්ලවපොර සම්මේලනයේ සහයෝගය ඇතිව මෙම ක්‍රිඩාව ලෝක මට්ටමින් සංවර්ධනය කළ නොහැකිද?

අපි සංගමයක් ලෙස ඒ පිළිබඳව නව දැකිමකින් තමයි කටයුතු කරමින් සිටින්නේ. වත්මන් මල්ලවපොර සම්මේලනයේ සභාපති ශාන් විජේරත්න මහතා ඇතුළු විධායක කමිටුව නව වැඩපිළිවෙළක් සකසා තිබෙනවා. ලෝක මට්ටමින් ඉපැරණිතම ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස මල්ලවපොර ක්‍රීඩාව පැවැතියත් අද වන විට ලංකාවේ මල්ලවපොර ක්‍රීඩාවට එවැනි තත්වයක් උදා කර දී නෑ. අඩු තරමින් පාසල් මට්ටමින් වත් මල්ලවපොර ක්‍රීඩාව ක්‍රිඩාවක් ලෙස ක්‍රියාත්මක වන්නේ නෑ. වාර්ෂිකව ලෝක මල්ලවපොර සමිමේලනයට රුපියල් ලක්ෂ හතරක සාමාජිකත්ව ගාස්තුව ගෙවිය යුතුයි. අප සංගමය මුල්‍යමය මට්ටමින් ඉතාමත් අපහසු මට්ටම සිටින්නේ නමුත් ප්‍රතිපාදන ගොඩනගාගෙන සාදනීය හා වර්දනිය මට්ටමකට මෙම ක්‍රීඩාව රැගෙන ආ යුතුයි.

එවකට සිටි ගුවන්හමුදාපති වරයාගේන් අපට ලබුණු අභියෝගයට තමයි අපි මුලින්ම කාන්තා මල්ලවපොර කණ්ඩායමක් 2011දී පිහිටු වුයේ. එතුමාගේ ඉල්ලීම වුයේ ගුවන් හමුදාව තුළ ජනප්‍රියව තිබු මල්ලවපොර ක්‍රීඩාවට කාන්තා කණ්ඩායමක් ගොඩනගන එක එය අපට විශාල අභියෝගයක් වුණා. ඇයි එවකට පිරිමින් අතර පමණක් ජනප්‍රිය මල්ලවපොර ක්‍රීඩාවට කෙසේද කාන්තාවන් සොයා ගන්නේ කියා. පාසල් මට්ටමින් වත් ජනප්‍රිය නොවු ක්‍රීඩාවකට ක්‍රිඩිකාවන් සෙවිම අපහසු උණා. සිවිල් සංවිධාන කිහිපක කාන්තා ක්‍රිඩිකාවන් සිටියත් ගුවන් හමුදාව තුළ මල්ලව පොර ක්‍රීඩාව පිළිබඳ දැනුමක් හෝ පුහුණුවක් ලබපු කිසිවෙකුත් සිටියේ නෑ. අපගේ ප්‍රධාන කාන්තා සෙබළ පුහුණු පාසල තියෙන්නේ දියතලාවේ පුහුණු විද්‍යායතනයේ. ප්‍රියන්ත වීරසිංහ නිලධාරී තුමන් මට පැවැරුවා දියතලාව ගුවන් හමුදා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි පිරිසේන් කණ්ඩායමක් තොරාගන්න. මල්ලවපොර කාන්තා කණ්ඩයමක් නිර්මාණය කරන්න. මට උපරිම නිදහසක් හිමිවුණා. මා ජවසම්පන්න මෙන්ම ක්‍රීයාශීලී, මල්ලවපොර ක්‍රීඩාවට උචිත හැඩරුව ඇති ආදුනික සෙබලියන් 8 දෙනෙකු තොරාගෙන එවකට අපට සිටියේ සිවිල් පුහුණුකරුවෙක් ඒ පුහුණුකරු වු දිල්රුක් ද සිල්වා. ඔවු යටතේ පුහුණුවීම් කොට මුල්ම ගුවන්හමුදා මල්ලවපොර කාන්තා කණ්ඩායම බිහි කළා. පුහුණු කරුවන් යටතේ පුහුණුව ලබමින් වර්ධනිය තත්වනයක් කරා එම කණ්ඩායම පැමිණියා.එදා අප තොරාගත් ක්‍රිඩිකාවන් දවසින් දවස දක්ෂතාවයන් වර්ධනය කරගත්තා. අදටත් ඒ ක්‍රීඩිකාවන් 8 දෙනාගෙන් තිදෙනෙක් අප සමග සිටිනවා. එසේ පවසමින් සංවාදයට එක් වුණේ ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ උප ලේඛම් බලඝනනායක නලින් වැවකුඹුර මහතායි.

ඔබට හිමි වු අභියෝගය මේ වන විට ජයගෙන තිබෙනවා අද ආපසු හැරී බැලිමේදි ඔබ තෘප්තිමත් ද?

ඇත්තෙන්ම ඔව්. 2011 වන විට සන්නද්ධ සේවා යුද්ධ හමුදාවේ පමණයි කාන්තා මල්ලවපොර කණ්ඩායමක් සිටියේ ඔවුන් තමයි කාන්තා ජයග්‍රහණයන්ට හිමිකම් කීවේ. 2011න් පසුව අප ගොඩනැගුව කාන්තා මල්ලවපොර කණ්ඩායම යුද්ධ හමුදාව පරදා අඛණ්ඩව අදටත් ජය හිමිකරගනිමින් සිටිනවා. 2018 වසරේ ජාතික ශූරතාවලියෙන් හා ආරක්ෂක සේවා තරගාවලියෙන් කිලෝ ග්‍රැම් 65 බර පන්තියෙන් ජයගැනිමට සමත් වූ වත්මන් ගුවන් හමුදා මල්ලවපොර කණ්ඩායමේ නායක උදාර ප්‍රනාන්දු මා සමග දොඩමලු වුණා.

ගුවන් හමුදාවට එක්වෙන්න කලින් මල්ලවපොර ක්‍රීඩාවේ නියැළුණා ද?

ඔව්. ජා ඇළ සාන්ත මේරි විද්‍යාලයේ අධ්‍යාපනය ලබන විටදි “යං සැඩෝස් “ ක්‍රීඩා සමාජයට මම ක්‍රිඩා කලා 1996 සිට 2001 දක්වා. පසුව 2002 වසරේදී තමයි ගුවන් හමුදාවට බැදුනේ, ඉන් පසු මගේ මල්ලවපොර ක්‍රීඩාව පෙරටත් වඩා හොඳින් වර්ධනය කරගැනිමට හැකි වුණා. 1969දි ආරම්භ කර ඇති ගුවන් හමුදා මල්ලවපොර ක්‍රිඩාව වසර ගණනාවක් අංක එකේ ස්ථානය හිමිකරගෙන තියෙනවා. නමුත් මම කණ්ඩායමට එක්වන විට එය මදක් පසුගාමී මට්ටමකයි පැවැතියේ මා ඇතුළු කණ්ඩායම ඉතාමත් හොඳින් පුහුණුවිම් වල නිරතව එම ක්‍රමය වෙනසකට භාජනය කළා පසුගිය වසර දක්වා අපි ජාතික තලයේ ජයග්‍රහණ රැසකට හිමිකම් කීවා. ඒ වගේම 2012 සිට මේ දක්වා කිලෝ ග්‍රැම් 65 බරපන්තිය යටතේ ජාතික ශූරයා මමයි.

ඔබගේ අන්තර්ජාතික අත්දැකීම් කෙසේද?

ඇමෙරිකාවේ පැවැති 2014 වසරේදි පැවැති ලෝක ආරක්ෂක සේවා තරගාවලිය ගුවන් හමුදා ක්‍රීඩක මධුරංග සමග නියෝජනය කිරිමට හැකි වුණා. එහිදි සිව්වන ස්ථානය හිමි වුණා. ඒ වගේම එම වසරේදීම පොදුරාජ්‍ය මණ්ඩලිය තරගාවලියද නියෝජනය කළා.

ඉදිරි වැඩකටයුතු කෙසේද?

මම පසුගිය වසර දෙකේදී ගුවන් හමුදා පිරිමි මල්ලවපොර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. නිලධාරීන් මෙන්ම මගේ සෙසු සාමාජිකයන් එක්ව ඉදිරි වසරටත් නායකත්වයට මගේ නම යෝජනා කර තිබෙනවා. අන්තර්ජාතික පුහුණු කරුවෙකුගේ උපදේස් මත හා අන්තර්ජාතික අත්දැකිම් උකහාගනිමින් ඉදිරියට යා හාකිනම් ජාත්‍යන්තරය ජයගැනීම අපහාසු නෑ. ජාතික ශූරයා ගෙන් මිදී මා ඊළගට යොමු වුණේ ජාතික ශුරීය වෙතටයි. කිලෝ ග්‍රැම් 50 බර පන්තියෙන් රන්පදක්කම් ලාබි ආශා කරුණාසේන මුලික අධ්‍යාපනය ලැබ ඇත්තේ කොලොන්න ජාතික පාසලෙන් 2013 වසරේදී ගුවන් හමුදාවට එක්ව ඇති ආශා එදා සිට අද දක්වාම ගුවන් හමුදා මල්ලවපොර කාන්තා කණ්ඩායම නියෝජනය කරනවා.

පාසල් යන කාලයෙත් මල්ලවපොර ක්‍රීඩාවේ නිරත වුණාද?

නැ. මම ඉගෙන ගත්ත කොළොන්න ජාතික පාසලේ මල්ලවපොර ක්‍රීඩාව තිබුණේ නෑ. නමුත් මම ක්‍රිකට්, වොලිබෝල් හා එල්ලේ ක්‍රීඩා කළා. පාසල් අවදියේදි අධ්‍යාපනයට වඩා යොමු වුණේ ක්‍රීඩාවටයි.

ඔබගේ දෙමාපියන් ක්‍රීඩාවට ලැදිකමක් දක්වනවාද?

මගේ දෙමාපියන්ට මල්ලවපොර ක්‍රීඩාව ගැන විශේෂ දැනුමක් නැති උනත් ඔවුන් හැම විටම මා දිරිගන්වමින් මා පසු පසු සිටිනවා.

ඔබගේ අනාගත බලාපොරොත්තු කෙසේද?

මගේ ලොකු බලාපොරොත්තු නෑ. නමුත් ජාතික ක්‍රීඩිකාවක් ලෙස මම කැමැතියි මගේ මවුබිමට කීර්තියක් ගේන්න ඒක තමයි මට ඇති එකම බලාපොරෝත්තුව. ජාතික ශූරයත් ශූරියත් සමග ශාරීරික යොගතා මද්‍යස්ථානයට පැමිණ සිටියා 2016 වසරේ සාෆ් තරගාවලියේදී පදක්කම් ලාභීන් පස්දෙනාගෙන් සිව් දෙනෙක් මා ඔහුන් සමග ද පොඩි කථා බහක නිරත වෙන්නට අමතක කළේ නෑ කෝ අනෙක් සාමාජිකාව. අද එයාට මේ අවස්ථාවට එක් වන්න බැරි උණා. ඇයට කුළුදුලේ දරුක්වෙන් ලැබුණු නිසා ඒ මගේ සොහෝදරී ඇය මධුෂානි කුමාරි ඇය නියෝජනය කළේ කිලෝ ග්‍රෑම් 55 බරපන්තිය. යයි පවසමින් මහිරා ප්‍රියංගා කුමාරි මා සමග දොඩමලු උනා. මම ගුවන් හමුදාවට එක්වෙලා දැනට අවුරුදු 08 ක් වොනවා. ඒ අවුරුදු අටම මම ගුවන් හමුදාව නියෝජනය කරමින් මල්ලවපොර කාන්තා කණ්ඩායම නියෝජනය කරනවා. කිලෝ ග්‍රැම් 62 බරපන්තියෙන් අරාක්ෂක සේවා හා ජාතික තරගාවලියේ දී රන්පදක්කම් දිනාගෙන ජාතික මල්ලවපොර ක්‍රීඩිකාවක් ලෙස මේ වනකොට මම තරග කරමින් සිටිනවා.

ඔබ ජාතික සංචිතය නියෝජනය කරනවා නේද?

වසර කිහිපයක සිට ජාතික සංචිතයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරනවා. කුරුණැගල කුල් අද්දාස් මහා විද්‍යාලයේ තමයි මම අධ්‍යාපන ලැබුවේ. පාසලේදී මම මල්ලවපොර ක්‍රීඩාවේ නිතර වුණේ නෑ නමුත් ජවන හා පිටිය තරගවලට සහභාගි වුණා. වසර අටක් කිසිම බාධාවකින් අපහසුතා තොරව මම මල්ලවපොර ක්‍රීඩාවේ නිතර වෙනවා. අද වන විට කිසිදු අපහා සුතාවයකින් තොරව ක්‍රීඩා කරනවා. මමත් මගේ නංගීත් අපට හැකි හැම විටම ජයග්‍රහණය පසුපස හබායනවා. රට නියෝජනය කරමින් තරගාවලි කිහිපයකට සහාභාගී තිබේනවා. ජයගෙනත් තියෙනවා. ඉදිරියේදී මීට වැඩි දෙයක් කිරීමට තමයි අපේ බලාපොරොතුව.

අද සමාජයේ මතයක් තියෙනවා මෙම ක්‍රීඩාව කාන්තාවන්ට උචිත නෑ කියා. ඒ පිළිබද ඔබේ මතය කොහොම ද?

මල්ලවපොර ක්‍රීඩාව කාන්තාවන්ට අහිතකර ක්‍රීඩාවක් නොවෙයි. ඒ මතය දරන්නේ ක්‍රිඩා නොකළ පිරිසක්. නමුත් අනවශ්‍ය විදියට පොරකැමක් මේ ක්‍රිඩාව තුළ නෑ යම් කිසි නිති රීති මාලාවක් අනුව තමයි ක්‍රිඩව සිදුවන්නේ. 2016 සාෆ් තරගාවලියේ රිදී පදක්කමක් දිනාගැනීමට මට හැකි වුණා. මම ජාතික සංචිතය නියෝජනය කරන්නේ කලෝ ග්‍රැම් 76 බරපන්තියෙන්. වසර හයක් අඛණ්ඩව ජාතක තරගාවලියේ කිලෝ ග්‍රැම් 76 බරපන්තියේ රන් පදක්කම් ලාභියා මමයි. එසේ මා සමග කථාවට එක් වුණේ රවිහාරී විරසිංහයි. ආරක්ෂක සේවා හා ජාතික යන තරගාවලි දෙකේදීම කිලෝ ග්‍රැම් 76 බරපන්තියේ රන් පදක්කම් ලාබියා ලෙස මම ක්‍රීඩාවේ නියැලෙනවා. මම අධ්‍යාපන ලැබුවේ මිරීගම ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. මම පාසලේදී ජවන හා පිටිය තරග නියෝජනය කරමින් යගුලිය විසිකිරිම හා කවපෙත්ත විසිකිරීම තරගවල නිරත වෙලා තියෙනවා

මම අයෝමි සෙනවිරත්න මම ගුවන් හමුදාවට එක් වෙලා වසර 12ක් වෙනවා.වසර 6ක් මල්ලවපොර ක්‍රීඩිකාවක් ලෙස ගුවන් හමුදා සංචිතය නියෝජනය කරනවා. මම නියෝජනය කරන්නේ කිලෝ ග්‍රැම් 68 බරපන්තියයි. අවුරුදු හයක් නොකඩවා ආරක්ෂක සේවා හා ජාතික තරගාවලි දෙකෙන්ම කිලෝ ග්‍රැම් 68 බරපන්තියෙන් මම රන් පදක්කම දිනා ගත්තා. සාෆ් තරගාවලියේදී රදී පදක්කම දිනාගැනීමට සමත් වුණා. මේ වන විට ශ්‍රි ලංකා ජාතික මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරනවා. මම අධ්‍යාපන ලැබුවේ මාතලේ නෙලුවකන්ද බෞද්ධ විද්‍යාලයෙන් මම මේ වෙනකොට දරුවන් දෙදෙනෙකුගේ මවක්. මමත් ක්‍රීඩාවෙන් සමුගැනීමට පෙර ලෝක කුසලාන තරගයකින් ජයගැනිම තමයි මගෙත් බලාපොරොත්තුව.

මම නියෝජනය කරන්නේ කිලෝ ග්‍රැම් 72 බරපන්තිය. මම ගුවන් හමුදාව සම්බන්ධ වෙලා අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 7ම මල්ලවපොර කණ්ඩායම නියෝජනය කරනවා. පසුගිය ආරක්ෂ සේවා හා ජාතික තරගාවලියේ කිලෝ ග්‍රැම් 72 බරපන්තියේ රන් පදක්කම් ලාභියා මමයි. ඒ වගේම සාෆ් තරගාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මට හැකි වුණා. එසේ අප සංවාදට එක් වුණේ ගුවන් හමුදා කාන්තා මල්ලවපොර සංචිතයේ තවත් පැරණි සාමාජිකාවක් වන මාලා මධුවන්ති රුපසිංහයි. මම අධ්‍යාපන ලැබුවේ කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයෙන් මම විවාහකයි. මගේ මහත්තයාගේ දෙමවුපියන් වගේම මගේ දෙමවුපියනුත් මට මගේ ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න මාව දිරිමත් කරනවා. පාසල් මිතුරන් වගේම පාසලත් මා දිරිමත් කරනවා. මම සාෆ් තරවලියෙන් රිදී පදක්කමක් දිනා ගත් මොහොතේදීත් මට පාසල උපහාර උලෙළක් පැවැත්වුවා.

මා ජයග්‍රාහකයන්, පාලකයන් පාලිතයන් සමග කථාබහෙන් පසු අවතීර්ණ වුණේ ගුවන් හමුදා මල්ලවපොර සංචිතයේ ජයග්‍රහණ පසුපස සිටින ඒ දැවැන්ත පුරුෂයා දෙසටයි. ඔහු වසර ගණනාවක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මල්ලවපොර ක්‍රීඩාවෙන් ජයග්‍රහණ රැසක් හිමිකරදුන් දැවන්ත යුග පුරුෂයෙකි. ඔහු තම දූවා දරුවන් ලෙස හදා වඩා ගනිමින් සිටින තම ගෝලයන්ගේ දක්ෂතා හමුවේ නිහඩවම තෘප්තිමත් වු මිනිසෙකී. මල්ලවපොර ක්‍රීඩාවේ ඇසු පිරූ තැන් ඇති ක්‍රීඩකයෙකි, විනිසුරුවෙකී. තරග තීරකයෙකී. මේ තුන් අයුරින්ම මල්ලවපොර ක්‍රීඩාව පෝෂණය කළ වත්මන් පුහුණුකරු පී.එස්.ආර්.මහතා සමගයි මම අතිතාවර්ජනයක නියැලුනේ.

1971දි තමයි මම මුලින්ම ගුවන් හමුදාවට එක් වන්නේ 2002දක්වා නිත්‍යෙසේවයේ කටයුතු කරමින් සිටියා. දැන් විශ්‍රමිකව ගුවන් හමුදා මල්ලවපොර කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටිනවා. මට හරිම ආඩම්බරයක් දැනෙනවා. අද ගුවන් හමුදා මල්ලවපොර ක්‍රීඩාව පවතින තැන ගැන. මන්ද මම ගුවන් හමුදාවට එක් වුණේම මගේ ක්‍රීඩා කෞෂල්‍ය දියුණු කර ගැනීමට. කළුතර සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන අවදීයේ සිට මම නොයෙකුත් ක්‍රීඩාවන් වල නිරත වුණා. බොක්සිං, පාපන්දු, මැරතන්, මල්ලවපොර ක්‍රීඩාව හැදැරුවත් ජාතික මට්මින් තරග වලට සහාභාගී වුණේ නෑ. මැරතන් කරු සමග පවා මා තරග කර තිබෙනවා. මැරතන් තරග වලදි මට හිමි වුණේ තෙවන ස්ථානය. නමුත් මම 19න් පහළ ශ්‍රී ලංකා පාපන්දු සංචිතයේ සමාජිකයෙකු ලෙසද ක්‍රීඩා කළා. ගුවන් හමුදාවට බැදුනට පස්සේ වසර 19ක් බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාකරා. පිහිනුම් ක්‍රීඩකයෙකු ලෙසද තරගවලි නියෝජනය කර තිබෙනවා. පසුව මම මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස තමයි ගුවන් හමුදාවෙ දක්ෂතා දැක්වුයේ.

ඔබ ක්‍රීඩනයකු පුහුණුකරුවකු ලෙස ඔබගේ ගමන් මග දකින්නේ කෙසේද?

1981 වසරේදී මට ගුවන් හමුදාවේ මල්ලවපොර කණ්ඩායමේ නායකත්වය හිමිවුණා. එම වගකීමට අමතරව පුහුණු කරුවකු ලෙසද කටයුතු කිරීමට මට සිදු වුණා. නමුත් මා වගකීම් දෙකම ඉතාමත් උවමනාවෙන් ක්‍රීඩාවට ඇති කැමැත්ත නිසා ඉෂ්ට කලා.මම නායකත්වයට එනකොට වසර 25ක් ගුවන් හමුදා කණ්ඩායම පරාජිත ආමිහිර අත්දැකිම් විදිමින් සිටියේ. මගේ නායකත්වය යටතේ 1981 වසරේදී සමස්ථ ලංකා හා ජාතික යන තරගාවලි දෙකෙන්ම ජයගත්තා. එතැන් සිට 2001 දක්වාම අපි තමයි පෙරමුණේ පසුවුණේ. 2001 වසරේදී මම මල්ලවපොර ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිඩා කිරීමේන් සමුගෙන පුහුණුකරු ලෙස පමණක් නිරත වුණා.

ගුවන් හමුදාවෙන් ක්‍රීඩාවේ ප්‍රගමනයට ඔබට ලැබෙන සහයෝගය කෙසේද?

ඉතාමත් හොඳ සහායෝගයක් ලැබෙනවා. ක්‍රීඩාක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය, සෞඛය මෙන්ම පුද්ගලික ප්‍රශ්න උදෙසාද ඉහළ නිලධාරින් හැමෝගෙන්ම ලැබෙන්නේ ඉතාමත් හොඳ සහායෝගයක්.

අන්තර්ජාතික තලය ජයගැනිමට නම් මොන අංශයෙන්ද මෙම ක්‍රීඩාව වර්ධනය කළ යුත්තේ.

දක්ෂතාවයන් අතරින් ලෝක මට්ටමේ ක්‍රීඩකයන් හා කරට කර සටන කල හැකි ක්‍රීඩකයන් අපට සිටිනවා. නමුත් ඔවුන්ට අන්තර්ජාතික අත්දැකීම අඩුයි. ලෝකයේ පවත්වන ජාත්‍යන්තර තරග වලට අපේ තරග කරුවන් සභාභාගී කරවා ඔවුන්ට ජාත්‍යන්තර අත් දැකීම් ලබාදිය යුතුයි. ඒ වගේම සම්මේලනය මැදිහත්ව දක්ෂ අන්තර්ජාතික පුහුණුකරුවන් ගෙන්වා අපගේ ජාතික සංචිතය පුහුණු කල යුතුයි. නැතිනම් මෙරට සිටින පුහුණු කරුවන්ව අන්තර්ජාතික පුහුණුකරුවන් යටතේ පුහුණු කළ යුතුයි. එවැනි වැඩසටහනක් තුලින් තමයි ලෝක ජයගැනීමට හැකි ක්‍රීඩකයන් බිහිකිරිමට හැකි වාතාවරනයක් සැකැසිය හැකි වන්නේ.එවැනි දීර්ඝ කාලීන දැක්මක් තුලින් ක්‍රියා කොට සැලැස්මක් ක්‍රීයාත්ම කලොත් මල්ලවපොර ක්‍රීඩාවෙන් ලෝකය ජයගැනීම පහසු කටයුත්තක්.

ගිෂා මුණසිංහ

MirrorGames.lk © 2019

Search