අහෝ ! ක්‍රිකට් මෙච්චර සිල්ලරද?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අල්ලස, දූෂණය, වංචාව, තරග පාවාදීම්, නිලවරණය ආදිය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී පවතින්නේ ක්‍රිකට් පිත්ත සහ පන්දුව අතර ඇති සම්බන්ධතාවයටත් වඩා බොහෝ සෙයින් සමීප මට්ටමක බව බැලූ බැල්මට පෙනේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය සති දෙකක සහන කාලයක් ලබාදී ති‍බියදී, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සඳහා තමන්ට අල්ලස් දීමට තැත් කිරීමක් පිළිබඳ තොරතුරු මෙරට පිහිටුවා ඇති අයි.සී.සී දූෂණ විරෝධි ඒකකයට ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා අනාවරණය කළේ ය.

ක්‍රීඩා අමාත්‍යවරයාට මෙකී යෝජනාව ගෙන ආ පුද්ගලයාව බෙල්ලෙන් ඇදගෙන ගොස් පොලිසියට හෝ අල්ලස් හෝ ‍දූෂණ කොමිසමට බාරදීමට හැකියාව තිබියදී, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමෙන් අමාත්‍යවරයා කළේ උඩ බලාගෙන කෙළ ගසා ගත්තා නොවේ දැයි ප්‍රශ්න කරන්නෝ ද නැත්තේ ම නොවේ.

ඒ කෙසේ වෙනත් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව මෑත කාලයේ ගිලගෙන ඇති දූෂණයේ සහ වංචාවේ විශාලත්වය ඇමැතිවරයාට අල්ලස් දීමට තරම් ඉදිරියට පැමිණීම තුළ පැහැදිලි වන්නේ මේ දූෂිත ක්‍රියාවල බරපතළකම මිස වෙනකක් නොවේ. ක්‍රී‍ඩා අමාත්‍යවරයාට අල්ලස් දීමට වෙර දරා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ අයකු වීම තුළම ඇති බරපතළකම මෙයින් පැහැදිලියි. වාර්තාවන ආකාරයට ‍එකී මුදල රුපියල් මිලියනයකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වතගොත ඇති මාෆියාවක් පිළිබඳ මීට කලෙකට පෙර සිටන් අනාවරණය කළේ අර්ජුන රණතුංග අමාත්‍යවරයාය. ක්‍රීඩා අමාත්‍යවරයාට මේ අල්ලස් යෝජනාව ගෙන එන්නට ඇත්තේ ක්‍රිකට් මාෆියාවේ ම කොටස්කරුවකු විය හැකියි. එසේ නොමැති නම්, ඔවුන්ගේ සමීපතමයකු ද විය හැකියි. නමුත් තත්ත්වය නම් භයානක බව පැහැදිලිය.

මේ කරුණු කාරණා අභ්‍යන්තරයේ හෙළිදරව් වන තවත් අතුරුකතා ද බොහොමයක් පෙළ ගැසෙයි. හිටපු පුහුණුකරු නික් පෝතාස් ශ්‍රී ලංකා කණ්ඩායම හැර යාමට මත්තෙන් දඹුලු මත දැක්වීමේදී කළ කෝකියන්ගේ කල්ලියෙන් සුප් එක බේරා ගැනීම ද මේ කතා දාමයේ අතුරු සිදුවීමක් විය හැකියි.

සෑම අවස්ථාවකම ඔබ ගැනත් ඔබේ කණ්ඩායම ගැනත් විශ්වාසය තබන්න. එසේ ම හදවතින් ම ක්‍රීඩා කරන්න. නික් ‍‍පෝතාස්ට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම හැර ගිය ග්‍රැහැම් ෆෝඩ් ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඇති වූ යම් යම් වෙනස්කම් ඔහු සිය ධූරය හැර යාමට මත්තෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එසේ ප්‍රකාශ කළේ ය. ෆෝඩ් දමා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බාර වූයේ නික් පෝතාස්ට ය. නික් පෝතාස් ඉන්දු - ලංකා එක් දින තරගාවලියේ දඹුල්ලේ පැවැති තරගයක් අවසානයේ ප්‍රකාශ කළේ මේ සුප් එකට කුක්ලා වැඩියි යන්නයි.

අද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තරගයක් ජයග්‍රහණය කරා ගෙන යාමට හරි හමන් පිතිකරුවකු පන්දු යවන්නකු තබා නායකයකු තෝරා ගැනීමට නොහැකි තරමට ම අන්ත අසරණවී තිබේ. හොඳ ම උදාහරණය පසුගියදා අවසන් වූ නවසීලන්ත ක්‍රිකට් තරගාවලියයි. එළැඹී ඇත්තේ ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලියයි. අනතුරුව ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලියයි‍. මේ තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායම කුමක් කරනු ඇද්ද යන්න අනාවැකි කීමට ඉක්මන් විය යුතු නොවේ.

මේ තනි තනිව ක්‍රීඩකයන්ගේ හෝ පුහුණුකරුවන්ගේ පමණක් නොව ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ම අර්බුදයකි. අද වනවිට මේ අර්බුදයන් කොතෙක් දුර දිග ගොස් තිබේ ද යන්න ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ අදහස් ම ප්‍රමාණවත් ය. පසුගිය දින කිහිපයේ මං දැක්කා ක්‍රීඩකයන්ගේ භාර්යාවන් ගැටලුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරියව ගෙදර තියලා පිට්ටනියේ ක්‍රිකට් ගහන්න එන්න කියලයි. ඒ තත්ත්වයට අපි වැටිය යුතු නෑ. ඒක හරිම ශෝචනීයයි.‍ අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දී. මේක හංගන්න දෙයක් නෑ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහා පිස්සු රටක් විදියට. ප්‍රශ්න ඇති‍. ඒවා ගෙදර තියලා එන්න. ක්‍රීඩා පිටියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නෑ. අද ලාංකේය ක්‍රිකට් යනු ඒ තරමට ම දියාරු වී ගොස් ගඳ ගසන තරමට ම කුණු වී ඇති බැවිනි.

මැස්සෙක්වත් ඇල්ලීමට නොහැකි තරමට ක්‍රීඩා නීතිය අරාජික වී ඇති රටක ඕනෑම අයකුට ඕනෑම සෙල්ලමක් දමා අත පිසදා ගත හැකිය. අද අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති වී තිබෙන්නේ එවැනි තත්ත්වයකි. ක්‍රීඩා අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමට චෝදනා ලද පුද්ගලයා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ දත්ත විශ්ලේෂකයකු ලෙස වසර ගණනාවක් කටයුතු කර තිබේ. දැනට අනිවාර්ය නිවාඩු යවා ඇති චෝදනාලාභි පුද්ගලයා එකී චෝදනාව ප්‍රතික්ෂේප කර ඇතැයි බීබීසීය වාර්තා කර තිබේ. එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ මේ දිනවල මෙරට පැවැත්වෙන ශ්‍රී ලංකා අයර්ලන්ත ඒ ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයකු ඇතුළත් කිරීමට මෙකී පුද්ගලයා අමාත්‍යවරයාට වට්ස් ඇප් පණිවිඩයකින් යෝජනා කර ඇති බවත්, ඒ සඳහා ඊට පසුදිනම රුපියල් මිලියනයක් ලබාදිය හැකි බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් රුපියල් මිලියනයකට බාල්දු වී ඇද්ද? ක්‍රීඩා අමාත්‍යධූරය රුපියල් මිලියනයකට බාල්දුවී ඇද්ද යන්න දැන ගැනීමට කාලය පැමිණ තිබේ.

සිළුමිණ

MirrorGames.lk © 2019

Search