කාට කාටත් ප්‍රශ්න තියෙන්න පුළුවන්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට ප්‍රධාන හේතුව ක්‍රීඩකයන්ට නිදහස ලැබී පීඩනයෙන් මිදී ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය අවසන් වීමෙන් පසු එක්දින තරගාවලියට සහභාගි නොවන දිමුත් කරුණාරත්න ඇතුළු ක්‍රීඩකයන් හත්දෙනකු මෙරටට පැමිණීමෙන් පසු මේ බව පැවැසීය.

“එකමුතුකම නැතුව නොවෙයි. එකමුතුකම තිබුණා. ඕස්ට්‍රේලියානු තරගාවලිය ගත්තොත් අපි එකම ටීම් එකක් විදියට තමයි ගියේ. ඒත් වැරදුණා. දකුණු අප්‍රිකාවේදි අපි කළේ ක්‍රීඩකයන්ට නිදහස දුන්නා. විනෝද වෙන්න දුන්නා. මාස තුනක තරගාවලියකට ගියාම අපි විසිපස්දෙනා විතරයි ඉන්නේ. පුහුණුවීම් කරනවා. කාමරයට එනවා. යනවා. එහෙම ඉන්න එක ක්‍රීඩකයන්ට මානසික පීඩනයක්. මම හිතුවා ඔවුන්ට නිදහස දෙන්න. ඒක තමයි මේ වෙනස”

“පසුගිය කාලේ කණ්ඩායමට නීති රීති පද්ධතියක් දාන්න වුණා. මම හිතනවා කණ්ඩායමට ගොඩක් නීති රීති අවශ්‍ය නෑ කියලා. ඒත් සමහර නීති තියෙන්න ඕනෙ. අපි වෙන වෙන ප්‍රශ්නවලට ඕනෑවාට වඩා නීති දාගත්තා කියලා හිතනවා. ඒවා අයින් කරලා මම ඒ නිදහස අරන් දුන්නා” කණ්ඩායමේ එකමුතු බව ඇති කළ ආකාරයත් දිමුත් පැහැදිළි කරයි.

“මම නායකත්වය බාරගත්තට පස්සේ මුලින්ම උප නායක දික්වැල්ල එක්ක කතා කරලා කටයුතු කළ යුතු ආකාරය ගැන තීරණය කළා. ඊට කලින් තරගාවලිවලදී ඇතිවූ තත්ත්වයන් ගැනත් අපි සැලකිල්ලට ගත්තා. ඊට පස්සේ කණ්ඩායමේ සෙසු සියලුම දෙනා එක්ක කතා කරලා අපට පහසුවෙන් කළ හැකි ආකාරයක් තීරණය කළා. මට ඕන වෙලා තිබුණේ තරග ජයග්‍රහණය කරනවාට වඩා කණ්ඩායමේ එකමුතුව ඇති කරන්නයි. පොඩි පොඩි වෙනස්කම් කළා. කන්න බොන්න ගිය තැන ඉඳලම අපි ඔක්කොම එකට හිටියා. ඒ එක්කම විශ්වාසය වැඩි වුණා. කණ්ඩායමක් ක්‍රීඩා කරන විට සියලු දෙනාම එක දිශාවකට යන්න ඕනේ. දෙන්නෙක් තුන්දෙනෙක් වෙන පැත්තකට ගියාම වැඩේ හරියට කරන්න බෑ. අපට හරි ගමනක් යන්න බෑ.” පළමු ටෙස්ට් තරගය අවසානයේ විවාදයට ලක්වූ සාදයේ විඩියෝව පිළිබඳ දිමුත් දැරුවේ මෙවන් අදහසකි.

“එක එක්කෙනාට එක එක ප්‍රශ්න තියෙන්න පුළුවන්. කුසල්ගේ ප්‍රකාශය මොනවා සම්බන්ධයෙන් ද කරන්නෙ කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ. ඔහුගෙන් තමයි අහන්න ඕනේ ක්‍රිකට් ආයතනයට කියන්න හදන්නේ මොකක්ද කියලා. අපි කතා කරන්න හැදුවේ වෙන දෙයක්. ඒත් එළියට ආවේ වෙන දෙයක්. මම ඔහුගේ පෞද්ගලික ප්‍රශ්න ගැන දන්නේ නෑ...”

“ඒක ඇත්තටම ගොඩක් හොඳ දෙයක් නොවෙයි. ක්‍රීඩක විවේකාගාරය පෞද්ගලික තැනක්. කණ්ඩායමේ ඇතුළේ තියෙන්න ඕන දෙයක් එළියට ගිය එක ගැන මම ඇත්තටම කණගාටු වෙනවා.

“අපි තරගාවලි තුනක පරාජයකින් පසුව තමයි තරගාවලියක් ජය ගත්තේ. මම නායකයා ලෙස කටයුතු කළ පළමු තරගාවලිය වීම නිසා මට විශේෂයක් තියෙනවා. මේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් වුණා නවක ක්‍රීඩකයන් හැකියාවන් පෙන්වීම. ලසිත්, ඕෂධ, විශ්ව, කසුන් දස්කම් දැක්වුවා. මේක සමස්ත කණ්ඩායම ලැබූ ජයග්‍රහණයක්.

“ක්‍රීඩකයන් කණ්ඩායම් හැඟීමෙන් ක්‍රීඩා කිරීම තමයි එකම වෙනස වුණේ. ඒක තමයි ජයග්‍රහණයට ලොකුම හේතුව. කුසල් ජනිත්ගේ ඉනිම පළමු තරගය ජය ගන්න වඩාත් බලපෑවා. ඇඹුල්දෙණියගේ පන්දු යැවීමත් එහිදී මතක් කළ යුතුයි. දෙවැනි තරගයේදී සුරංග, විශ්ව, කසුන් යන වේගපන්දු යවන්නන්ගේ පන්දු යැවීම තුළ අපි තරගයේ රැඳී සිටියා”

“ඉදිරි තරගාවලිවලදීත් කණ්ඩායම එකමුතුව තියාගෙන ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

MirrorGames.lk © 2019

Search