සිව්වන එක්දින තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති සිව්වන එක්දින තරගයෙන් කඩුලු 6 ක පහසු ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ( 13 ) සමත් විය. ඒ අනුව තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 4-0 කින් පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකාවට හැකිවිය.

ලකුණු 190 ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 32.5 කදී කඩුලු 4 ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

සිව්වන එක්දින තරගයට කැඳවනු ලැබූ ජේ.පී ඩුමිනි ( නොදැවී 31 ) හා ඩේවිඩ් මිලර් ( නොදැවී 25 ) රැස් කරමින් දකුණු අප්‍රිකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

තරගාවලිය පුරාම සාර්ථක පිතිකරුවා බවට පත්වූ ක්වින්ටින් ඩි කොක් අද දිනයේද පන්දු 57 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 51 ක් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වා ලකුණු 41 කට කඩුලු 3 ක් බිඳ හෙලීය.

කාසියේ වාසියේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 39.2 කදී සියලු දෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 189 ක් පමණි.

ලකුණු 131 ක් තුළදී ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 9 ක්ම ඇඳවැටී තිබූ අතර 10 වන කඩුල්ල සඳහා එක්වූ ඉසුරු උදාන හා කසුන් රාජිත ලකුණු 58 ක සබඳතාවයක් ගොඩ නගමින් ශ්‍රී ලංකා පිළ ලකුණු 189 ක් දක්වා රැගෙන ගියහ.

තම මංගල එක්දින අර්ධ ශතකය වාර්තා කළ ඉසුරු උදාන පන්දු 57 කදී හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් සමගින් ලකුණු 78 ක් රැස් කිරීමට සමත් වූයේ ශ්‍රී ලංකා ඉනිමේ එකම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

MirrorGames.lk © 2019

Search