ශ්‍රී ලංකාවට 3-0 ක පරාජයක්

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග මාලාව යටතේ ඊයේ (21) අවසන් වූ තරගාවලියේදී එංගලන්ත ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකා කාන්තා පිල පරාජය කිරීමට සමත් වූහ. එංගලන්ත පිල මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු හයක් හිමිකරගත්තේය.
 
ශ්‍රී ලංකා පිල මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලි පහක තරග 15 කින් තරග 14 ක් පරාජයට පත්ව ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවෙයි.     
 
කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී අද පැවැති තෙවැනි සහ අවසන් තරගයේදී එංගලන්ත පිල කඩුලු අටක පහසු ජයක් ලැබීය. 
 
එංගලන්ත පිතිකාරියෝ ලකුණු 175 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 26.1 කදී කඩුලු දෙකක් පමණක් දැවී සම්පූර්ණ කිරීම කැපී පෙනුණි. එංගලන්ත ආරම්භක පිතිකාරියන් වූ ඇමි ජෝන්ස් (76) සහ ටමීම් බියුමන්ට් (63) ලකුණු 127 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
 
හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන එකම සාර්ථක පන්දු යවන්නිය බවට පත්වෙමින් ලකුණු 56 කට කඩුලු දෙකක් දවාගත්තාය. හර්ෂිතා මාධවී නැවතත් සාර්ථක ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72 කදී හතරේ පහර පහක් සමගින් ලකණු 42 ක් රැස්කිරීමට සමත් වූවාය. මාධවී දෙවැනි තරගයේදී ද ලකුණු 42 කට දැවී යෑම කැපී පෙනේ.  
 
හර්ෂිතා මාධවී සහ හංසිමා කරුණාරත්න (28) පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 53 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා පිල ලකුණු 174 ක් දක්වා ඒමට මඟ පෑදුණි. 
 
 දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය පී. සරවනමුත්තු මේ මස 24 වැනිදා ආරම්භ වේ. 
 
කෙළිමඬල ඇසුරෙනි 
MirrorGames.lk © 2019

Search