ලංකාවේ මලල ක්‍රීඩාවට ටෝනිගේ සහය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාව නඟා සිටුවීම සඳහා සහාය දීමට අමෙරිකානු ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු ටෝනි කැම්බල් මහතා එක්ව සිටියි.

2000 වසරේ සිඩ්නි ඔලිම්පික් උළෙලේ මීටර් 200 ධාවන ශූරි සුසන්තිකා ජයසිංහගේ එවකට පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කළේ ටෝනි කැම්බල් මහතාය.

සුසන්තිකා ජයසිංහ මහත්මිය ජාතික ඔලිම්පික් කමිටුවේ උසස් දස්කම් ඇගයීමේ අධ්‍යක්ෂිකාව ලෙස පත්වීමෙන් අනතුරුව ඇයගේ සම්බන්ධීකරණය මත ඔලිම්පික් කමිටුවේ ආරාධනයකින් කැම්බල් මහතා දිවයිනට පැමිණියේය.

වසර 19කට පසුව ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ඔලිම්පික් අවසන් තරගයට එක්වනු දැකීමට තමන් තුළ කැමැත්තක් ඇති බවද ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ කැපවීම අවශ්‍ය බවත් එය අනිවාර්යයෙන්ම කැපවීමක්ම විය යුතු බවද පවසා ඇත.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන් කර ඇත.

‘විනය මෙන්ම අධ්‍යාපනයත් ක්‍රීඩකයකුගේ සාර්ථකත්වයට බලපානවා. විශේෂයෙන්ම ආහාර රටාව ක්‍රීඩකයකුට හෝ ක්‍රීඩිකාවට විශාල බලපෑමක් කරනවා. ජනප්‍රිය පෝෂණ ආහාර පාන, තමන්ගේ කැමැත්තට බෙහෙත් ආදිය ගැනීමෙන් වළකින්න. ලෝක මලල ක්‍රීඩා සංගමයේ අනුමත බෙහෙත් සහ ශත්කි ජනක පාන වර්ග භාවිතයට හුරු විය යුතුයි. අනුමත වෛද්‍යවරුන්ගෙන්ම බෙහෙත් නිර්දේශ කර ගත යුතුයි. ඒවගේ ඔවුන් තම මවු භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැදැරිය යුතුයි. එසේ නොමැතිනම් විදෙස් රටකදී පුහුණුවීම් කරන්න බැහැ.’ යැයි පැවැසු කැම්බල් මහතා මේ කරුණු සාර්ථක කර ගන්නේ නම් වසර 19කට පසුව යළිත් වරක් ඔලිම්පික් පදක්කමක් පිළිබඳ ඉදිරියේදී විශ්වාසයක් ගොඩනගා ගත හැකි බවද කීය.

MirrorGames.lk © 2019

Search