කඹ ඇදීමේ ක්‍රීඩාවට අමාත්‍යාංශයෙන් සහයක් නෑ

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

මෙරට කඹ ඇදීමේ ක්‍රීඩාවට ක්‍රීඩා අමාත්‍යාංශය පවා කුඩම්මාගේ සැළකිලි දක්වමින් සිටියදි කඹ ඇදීමේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස තමා විසින් සිදු කරනු ලබන කාර්ය භාරයට ඇතැම් නිලධාරින් අකුල් හෙලීම කනගාටුදායක කරුණක් බව ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපති කර්නල් ජානක රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කඹ ඇදීමේ සම්මේලනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අත්තනෝමතිකව කටයුතු කරමින් සම්මේලනයේ සහ ක්‍රීඩා පනතට එරෙහිව යමින් සිටින බවට කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ එකමුතුව විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පසුගියදා ලිඛිතව පැමිණිලි කරනු ලැබීම සම්බන්ධව සිය අදහස් පළ කරමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

ආසියානු කඹ ඇදීමේ තරග බිමේ විශිෂ්ට ජයග්‍රහණ අත්කර ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාව ලැබුණේ තමා සහ තවත් නිලධාරින් අතලොස්සකගේ දැඩි කැපවීම නිසා බව ද කර්නල් ජානක රණසිංහ මහතා සඳහන් කළේය.

‘අපි ඉතාමත් දුෂ්කර ආකාරයෙන් තමයි මේ ක්‍රීඩාව පවත්වාගෙන යන්නේ. අපට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පවා කිසිදු ආකාරයේ සහයෝගයක් ලැබෙන්නේ නෑ. එවැනි තත්ත්වයක් මත පසුගියදා තායිලන්තයේ පැවැති ආසියානු කඹ ඇදීමේ ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්වැනි ස්ථානය දිනාගත්තා. පිරිමි කණ්ඩායම සිවුවැනි ස්ථානය දිනා ගත්තා. ඊට සමගාමීව පැවැති දකුණු ආසියාතික ගෘහස්ත කඹ ඇදීමේ තරගාවලියේ ශූරතාව ජයගැනීමටත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වුණා. එවැනි ජයග්‍රහණයක් ලැබුවත් අපේ රටේ ගෘහස්ත ක්‍රීඩාගාරයක් පවා නෑ’ ඔහු කියා සිටියේය. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතාගේ අවධානය පිණිස කරුණු රැසක් සඳහන් කරමින් සභාපතිවරයාට එරෙහිව එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ එකමුතුව විසිනි. මෙරට කඹ ඇදීමේ ක්‍රීඩා සමාජ 35ක් අතරින් ක්‍රීඩා සමාජ 21ක් මෙම එකමුතුව නියෝජනය කරන බව පැවැසේ. එහෙත් කඹ ඇදීමේ සම්මේලනයේ වර්තමානයේ ලියාපදිංචිව සිටින්නේ සංගම් 16ක් පමණක් බවත්, ජාතික කඹ ඇදීමේ ශූරතාවලියට පවා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු නොකරන බෝඩ් ලෑලි සංගම් රැසක් ඇති බවත් ඒ මහතා පැවැසීය.

කඹ ඇදීමේ සම්මේලනයේ ව්‍යවස්ථාව අනුව වාර්ෂිකව මහ සභාව රැස් කර නිලධාරී මණ්ඩලය පත් කරගැනීමට මෙන්ම අයවැය සම්මත කරගැනීමට කටයුතු කළ යුතුව තිබුණත් වසර 2017 පත්වූ සභාපතිවරයා ඇතුළු පිරිස තවමත් එහි නිලතල දරමින් සිටින බවට එම පැමිණිල්ලේ සඳහන් කරුණු පිළිබඳ පැහැදිලි කළ සභාපතිවරයා කියා සිටියේ වසර 2016 දී ක්‍රීඩා පනතට ඇතුළත් වූ වගන්තියට අනුව සංගම්වල ධූරකාලය වසර 4ක් දක්වා දීර්ඝ කළ හැකි බවය.

MirrorGames.lk © 2019

Search