හරීන්ගේ ලේකම් ඔලිම්පික් කමිටුවට දෙහිකපයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
වැය කිරීම පිණිස සාධනීය හේතූන් දැක්වීමට අපොහොසත් වූ බැවින්, ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම මත රජයෙන් වෙන්කළ රුපියල් කෝටි 10ක ප්‍රතිපාදනය ක්‍රීඩා අමාත්‍යංශය හරහා එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වියදම් වෙනුවෙන් යොදාගත් බව විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා කියයි.
දකුණු අසියානු ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බැව කියා සිටියේය.

එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ ක්‍රියා කලාපය ද ඔහු විසින් දැඩි ලෙස දෝෂදර්ණයට ලක් කළේය.

ජාතික ඔලිම්පික් කමිටුව යනු අත්තනෝමතික සහ උඩඟු හැසිරීමක් සහිත, මෙරට ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු සාධනීය දායකත්වයක් නොදරන එන්ජීඕවක් ලෙසින් මෙහිදී ලේකම්වරයා විසින් හඳුන්වාදෙන ලදී. 

තමන් යැපෙන්නේ ක්‍රීඩා අමාත්‍යංශය මත යැපෙන හෝ ඒ යටතේ ඇති ආයතනයකින් නොවන බැවින් තමන්ව විගණනයට ලක්කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයට නොහැකි බවද, අනවශ්‍ය පරිදි පාලනය කිරීමකට පෙලඹුනහොත්, ශ්‍රී ලංකාවට ජාතික කොඩිය වෙනුවට සුදු කොඩිය රැගෙන ජාත්‍යන්තර ඔලිම්පික් තරගවලට සහභාගි වීමට සිදුවනු ඇතැයි ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළ බවත්, තමන් මේ බැව් කෝප් කමිටුවට වාර්තා කර ඇති බවත් චූලානන්ද පෙරේරා මහතා මෙහිදී කියා සිටියේය.

එසේ වහසි බස් දෙඩූ ජාතික ඔලිම්පික් කමිටුව ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි 10ක ප්‍රතිපාදනයක් රජයෙන් ඉල්ලා සිටීමට කටයුතු කළ බවත් එය ලබාදීමට රජය තීරණය කළ නමුත් මෙහි වගකීම තමන් යටතට පැවරෙන බැවින්, අදාළ මුදල වියදම් කරන ආකාරය ගැන තමන් ඔලිම්පික් කමිටුවෙන් විමසා සිටි බවත් ලේකම්වරයා පැවසීය. 

කෙසේවුවද මාස ගණනාවක් යන තුරු එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටි ඔලිම්පික් කමිටුව, අවසානයේ තමන්ව දැනුවත් කිරීමකින් තොරව, එම අනුමත මුදල වැය කරන ආකාරය ගැන ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව සහ මහා භාණ්ඩාගාරයට ලිපි යොමුකර තිබූ බවත් කියා සිටියේය. 

ගණන් භාර නිලධාරියා වශයෙන් තමන් මෙයට මැදිහත්ව එම වියදම් සැලැස්ම පරීක්ෂා කිරීමේදී ජාතික ඔලිම්පික් කමිටු ගොඩනැගිල්ල නවීකරණය කිරීම් සඳහා එයින් රුපියල් කෝටියක්ම වෙන් කර සිටි බවත් පැවසූ ලේකම්වරයා මෙම වියදම් කිරීමේ සැලැස්ම ගැන සෑහීමකට පත්විය නොහැකි බැවින් රජයෙන් වෙන්කළ එම ප්‍රතිපාදනය, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම වෙනුවෙන් වැය කිරීමට යොදාගත් බවත් චූලානන්ද මහතා පැහැදිලි කර සිටියේය.

MirrorGames.lk © 2019

Search